Saturday, March 28, 2020

කොරෝනා සහ අපේ ගොන්කම්

ලියන්නා මෙවැනි ලිපියක් ලිවීමට අදහස් කළේ වෙන මොකක්වත් නිසා නොව කොරෝනා හෙවත් Covid-19 වෛරසය නිසා පැනවූ ඇදිරි නීති සමයේදී වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාය. ඉතින් එය කොරෝනා ගැන කතා කිරීමට හොඳ අවස්ථාවක් බව ලියන්නාට වැටහුනේ ඇදිරි නීතිය පනවා දවස් ගනනක් ගත වූ විට වීම ගැන ඇත්තේ ලොකු දුකකි. ඉතින් ඒ දුක හා කේන්තිය ගොං අයුරින් හැසිරෙන අපේ උන්ගේ පිටින් යැවීමට තීරණය කළෙමි.

කොරෝනා යනු කුමක්දැයි කීමට මා මෙතනදී අපේක්ෂා නොකරන්නේ ඔබ දැන් ඒ ගැන ඕනෑවටත් වඩා දන්නවා යැයි හැඟෙන බැවිනි.(ඒ කෙසේ වුවද මාහට අසන්නට ලැබෙන දේවලින් නම් ඒ ගැන එච්චර පැහැදීමට පත් නොවූයේ පාරේ ගිය අයියා කෙනෙක් කොරෝනා බෝවෙන්නේ අත කටේ දැම්මහම යැයි කියනු ඇසීමෙනි. මෙච්චර කියලත් නොතේරෙන මේ වගේ උන් දකින විට ඉතින් කියන්න වෙන්නෙ දුකයි කියා පමනි.) එම නිසා ඇදිරි නිතිය පනවා ඇති විටදීත් තම ලොකුකම් පෙන්වීමට යන සිරි ලාංකිකයින් ගැන කතා කිරීමට කැමැත්තෙමි.

නොදන්නා කමද ගොංකමද යැයි හරියටම පැවසීමට නොහැක. ඒ කෙසේ වුවත් ඇඳිරි නීතිය පනවා ඇත්තේ කොරෝනා යනු ඉතාම වේගයෙන් පැතිරී යමේ හැකියාවක් ඇති වෛරසයක් බැවිනි. අපේ උන්දැලා ඒබව දැනදැනත් රංචු ගැහෙමින් "වටේ යන්නේ" පුරුද්ද නිසාද යන්න මහත් ප්‍රශ්නයකි. ඒ අතර බෙහෙත් ගැනීමට යාමට දි ඇති අවසරින් තුන්ඩුවක් ගෙන යන ඇතැමුන් ගෙදර එද්දී රටලූණු බෑගයක් රැගෙන එනු දැකීම අමුතුම දසුනක් වන්නේ ඒවා කුමන රෝගයට ප්‍රතීකාර වන්නේදැයි මා හට කිසිම අදහසක් නැති බැවිනි.

කොරෝනා මර්ධනයට රජය හා සෞඛ්‍ය අංශ මහත් වෙහෙසක් දරමින් සිටින නමුත් ඔවුන්ට එය මහජනතාවගේ සහය නැතිව කල නොහැක. ඒ නිසාවෙන්ම කොරෝනාවල රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුම් දෙනන්නැයි කියා ඇත. නමුත් ඒ බොහෝ පිරිස් දැනුම් දීමට මැලි බැවින් බුද්ධි අංශවලටද ක්‍රියා කාරී වීමට සිදු වී ඇත. එසේ සොයා ගන්න ඇතැම් පුද්ගලයන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. ස්වයං නිරෝධායනය යනු නිවසේ යම් දින ගණනක් අනෙක් අයගෙන් වෙන්වී සිටීමයි. නමුත් එහිදී අපට දැකගත හැකි වූයේත් ගොන් කමේ ප්‍රතිමූර්ති දෙක තුනකි. ඔවුන්ගේ ක්‍රියා හා කතා ගැන සිතීමේදී අප බූරුවාට කරන්නේ කොතරම් අපහාසයක්දැයි හැඟී යයි. මානව අයිතිවාසිකම් කියා යමක් තිබේයැයි කොහෙන් හෝ කන වැකුනු ඔවුන් ඒ ගැන කියවන්නේ පලපුරුදු නීතීවේදීන් ලෙසයි. 

කියන දේ එක කනකින් ගෙන අනික් කනින් නොව වෙන කුමක් හෝ තැනකින් එළියට යනවාදැයි කීමට මා විශේෂ්ඥයෙකු නොවූවත් අඩු තරමේ මෙවැනි පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ටවත් අල ගෙඩියක් තරම් මොළගෙඩියක් නැති බව තේරුම් ගැනීමට ඕනෑම පොඩි එකෙකුට හැකිය. 

නිරෝධායන මධ්‍යස්ථාන ගැනද යමක් කිව යුතුය. මම දන්නා අයුරින් මිනිසුන්ව සුවපත් කිරීමට විරෝධතාව දැක්වූ එකම පිරිස සිටි රට මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය පමනි. වෛරසය යනු පියාඹා ඇවිත් ගේට්ටු ඇරගෙන තාප්පවලින් පැනගෙන මිනිසුන්ව හොයා එන්නක් යැයි හිතන මෙවැන්නන් සිටින තාක් මෙරට සංවර්ධනය වෙමින්ම පවතිනු ඇත.බුදුන්ගේ දේශය, බුදු බණට හීලෑ වුනු යක්කු යැයි කියා ගන්නා අමනුස්සයින් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට විරුද්ධ වීම දුක්ඛදායකය. 

ඒ කෙසේ වුවත් මෙවැනි ගොංකම් නැතිවී ගොස් මේ පින් බිමත් මුළු මහත් ලෝකයත් කොරෝනා වෛරසයෙන් මිදේවායි සැමවිටම ප්‍රාර්ථනා කරමු !

1 comment:

  1. This comment has been removed by the author.

    ReplyDelete